ජීව විද්‍යාත්මක පටල වල ප්‍රෝටීන ගැන කතා කරන්න කලින් ලිපිඩ ගැන තව ටිකක් කතා කරන්න හිතුවා.කලින් ලිපියේ කිව්වා වගේම ජීව විද්‍යාත්මක පටලයක් කියන්නේ චාලක පටලයකටයි (dynamic membrane). ඊට හේතුව ඒවායේ ඇති ෆොස්ෆොලිපිඩ (phospholipids) චාලක වීමයි.(ස්ෆින්ගොලිපිඩද චාලක වුවත් ඒවා සුලුතරයක් පමණක් ඇති නිසා ෆොස්ෆොලිපිඩ ගැන පමණක් කතා කරමු).චාලක වීම යනු තැනින් තැනට ගමන් කිරීමට ඇති හැකියාවයි.ෆොස්ෆොලිපිඩ, පටලයේ තැනින් තැනට ගමන් කිරීමට ප්‍රධාන ක්‍රම 2ක් ඇත.
- තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම (transverse diffusion aka flip-flop)
- පාර්ශ්වික විසරණය (lateral diffusion)
දැන් මෙම කරුණු ගැන වෙන වෙනම බලමු
- තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම
තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම යනු ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට යම් ෆොස්ෆොලිපිඩ අණුවක් ද්වි-පටලයේ (bilayer) එක් මුහුණතක සිට අනෙක් මුහුණතට ගමන් කිරීමයි.මෙහිදී ෆොස්ෆොලිපිඩ අණුවේ ධ්‍රැවීය හිස (polar head) එක් මුහුණතක සිට, නිර්ධ්‍රැවීය වලිග (non-polar tails) සහිත ප්‍රදේශය හරහා අනෙක් මුහුණතට ගමන් කළ යුතු නිසා මෙම ක්‍රියාවලිය සිදුවීමේ සම්භාවිතාව සාපේක්ෂව අඩුය.මෙවැනි අපහසු ක්‍රියාවලියක් සිදුවන්නේ කෙසේද?
මේ සදහා ක්‍රම 2ක් පවතී
- ෆ්ලිපේස් එන්සයිමය (flipase enzyme) මගින් - මෙහිදී ශක්තිය වැය නොකරමින් ෆොස්ෆොලිපිඩ අණු ද්වි-පටලයේ වැඩි සාන්ද්‍රණයක් ඇති මුහුණතේ සිට අඩු සාන්ද්‍රණයක් ඇති අනෙක් මුහුණතට ගමන් කරයි.එනම් සරල විසරණයකි (simple diffusion).මෙය සිදු කරන්නේ ෆ්ලපේස් එන්සයිමය මගිනි.
- ෆොස්ෆොලිපිඩ පරිසංක්‍රමක ප්‍රෝටීනය (phospholipid translocator protein) මගින් - මෙහිදී ATP ශක්තිය වැය කරමින් ෆොස්ෆොලිපිඩ අණු ද්වි-පටලයේ අඩු සාන්ද්‍රණයක් ඇති මුහුණතේ සිට වැඩි සාන්ද්‍රණයක් ඇති අනෙක් මුහුණතට ගමන් කරයි.එනම් සක්‍රිය පරිවහනයකි (active transport).
පාර්ශ්වික විසරණය යනු ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට යම් ෆොස්ෆොලිපිඩ අණුවක් ද්වි-පටලයේ එක් මුහුණතක සිට එම මුහුණතේම වෙනත් ස්ථානයකට ගමන් කිරීමයි.මෙම ක්‍රියාවලිය සිදුවීමේ සම්භාවිතාව සාපේක්ෂව වැඩිය.මෙහිදී සිදු වන්නේ සරල විසරණයකි.
මෙම චාලකතාවය රදා පවතින්නේ ජීව විද්‍යාත්මක පටල වල තරලමය බව (fluidity) මතයි.පටල වල තරලමය බව රදා පවතින්නේ පහත සාධක මතයි
- උෂ්ණත්වය (temperature) - උෂ්ණත්වය වැඩිවූ විට තරලමය බව වැඩිවේ.උෂ්ණත්වය අඩුවූ විට තරලමය බව අඩුවේ.
- පටලයේ කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය (cholesterol & protein composition) - කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය වැඩිවූ විට තරලමය බව අඩුවේ .කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය අඩුවූ විට තරලමය බව වැඩිවේ.
- ෆොස්ෆොලිපිඩ අණුවේ නිර්ධ්‍රැවීය වලිගයේ දිග - ෆොස්ෆොලිපිඩ අණුවේ වලිගයේ දිග වැඩිවූ විට තරලමය බව අඩුවේ.ෆොස්ෆොලිපිඩ අණුවේ වලිගයේ දිග අඩුවූ විට තරලමය බව වැඩිවේ.
තරලමය බව අඩු වන විට පටලයේ ද්‍රවාංකය (melting point) (ද්‍රව වීම සදහා ලබා දිය යුතු උෂ්ණත්වය) වැඩිවේ.