ජීව විද්‍යාව කෙතරම් සුන්දරද?

මෙම බ්ලොග‍ය රස විදීමට ඔබ ජීව විද්‍යාව හැදෑරුවෙක් වීම අත්‍යාවශ්‍ය නොවේ.සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු කාටත් අවබෝධ වන සේ සරලව සහ රසවත්ව ලබා දීම මගේ වෑයමයි.ලාංකික ජීව විද්‍යාව දියුණු කිරීමෙහි ලා මෙමගින් කුඩා හෝ බලපෑමක් වේ නම් එය මගේ සතුටයි.යම් ලිපියක අන්තර්ගතයක් තවත් සංකීර්ණව හෝ සරලව පැහැදිලි කිරීමට අවශ්‍ය නම් මට විද්‍යුත් ලිපියක් එවන්න.
conanmb@gmail.com

එයාලටත් එහෙ මෙහෙ යන්න පුලුවන් - ජීව විද්‍යාත්මක පටල වල ලිපිඩ චාලකතාවය (LIPID MOBILITY OF BIOLOGICAL MEMBRANES)

ජීව විද්‍යාත්මක පටල වල ප්‍රෝටීන ගැන කතා කරන්න කලින් ලිපිඩ ගැන තව ටිකක් කතා කරන්න හිතුවා.කලින් ලිපියේ කිව්වා වගේම ජීව විද්‍යාත්මක පටලයක් කියන්නේ චාලක පටලයකටයි (dynamic membrane). ඊට හේතුව ඒවායේ ඇති ෆොස්ෆොලිපිඩ (phospholipids) චාලක වීමයි.(ස්ෆින්ගොලිපිඩද චාලක වුවත් ඒවා සුලුතරයක් පමණක් ඇති නිසා ෆොස්ෆොලිපිඩ ගැන පමණක් කතා කරමු).චාලක වීම යනු තැනින් තැනට ගමන් කිරීමට ඇති හැකියාවයි.ෆොස්ෆොලිපිඩ, පටලයේ තැනින් තැනට ගමන් කිරීමට ප්‍රධාන ක්‍රම 2ක් ඇත.
  • තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම (transverse diffusion aka flip-flop)
  • පාර්ශ්වික විසරණය (lateral diffusion)
දැන් මෙම කරුණු ගැන වෙන වෙනම බලමු
  • තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම
තීර්යක් විසරණය හෙවත් ෆ්ලිප්-ෆ්ලොප් වීම යනු ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට යම් ෆොස්ෆොලිපිඩ අණුවක් ද්වි-පටලයේ (bilayer) එක් මුහුණතක සිට අනෙක් මුහුණතට ගමන් කිරීමයි.මෙහිදී ෆොස්ෆොලිපිඩ අණුවේ ධ්‍රැවීය හිස (polar head) එක් මුහුණතක සිට, නිර්ධ්‍රැවීය වලිග (non-polar tails) සහිත ප්‍රදේශය හරහා අනෙක් මුහුණතට ගමන් කළ යුතු නිසා මෙම ක්‍රියාවලිය සිදුවීමේ සම්භාවිතාව සාපේක්ෂව අඩුය.මෙවැනි අපහසු ක්‍රියාවලියක් සිදුවන්නේ කෙසේද?

මේ සදහා ක්‍රම 2ක් පවතී
  1. ෆ්ලිපේස් එන්සයිමය (flipase enzyme) මගින් - මෙහිදී ශක්තිය වැය නොකරමින් ෆොස්ෆොලිපිඩ අණු ද්වි-පටලයේ වැඩි සාන්ද්‍රණයක් ඇති මුහුණතේ සිට අඩු සාන්ද්‍රණයක් ඇති අනෙක් මුහුණතට ගමන් කරයි.එනම් සරල විසරණයකි (simple diffusion).මෙය සිදු කරන්නේ ෆ්ලපේස් එන්සයිමය මගිනි.
  2. ෆොස්ෆොලිපිඩ පරිසංක්‍රමක ප්‍රෝටීනය (phospholipid translocator protein) මගින් - මෙහිදී ATP ශක්තිය වැය කරමින් ෆොස්ෆොලිපිඩ අණු ද්වි-පටලයේ අඩු සාන්ද්‍රණයක් ඇති මුහුණතේ සිට වැඩි සාන්ද්‍රණයක් ඇති අනෙක් මුහුණතට ගමන් කරයි.එනම් සක්‍රිය පරිවහනයකි (active transport).
  • පාර්ශ්වික විසරණය


පාර්ශ්වික විසරණය යනු ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට යම් ෆොස්ෆොලිපිඩ අණුවක් ද්වි-පටලයේ එක් මුහුණතක සිට එම මුහුණතේම වෙනත් ස්ථානයකට ගමන් කිරීමයි.මෙම ක්‍රියාවලිය සිදුවීමේ සම්භාවිතාව සාපේක්ෂව වැඩිය.මෙහිදී සිදු වන්නේ සරල විසරණයකි.

මෙම චාලකතාවය රදා පවතින්නේ ජීව විද්‍යාත්මක පටල වල තරලමය බව (fluidity) මතයි.පටල වල තරලමය බව රදා පවතින්නේ පහත සාධක මතයි
  • උෂ්ණත්වය (temperature) - උෂ්ණත්වය වැඩිවූ විට තරලමය බව වැඩිවේ.උෂ්ණත්වය අඩුවූ විට තරලමය බව අඩුවේ.
  • පටලයේ කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය (cholesterol & protein composition) - කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය වැඩිවූ විට තරලමය බව අඩුවේ .කොලෙස්ටෙරෝල් සහ ප්‍රෝටීන සංයුතිය අඩුවූ විට තරලමය බව වැඩිවේ.
  • ෆොස්ෆොලිපිඩ අණුවේ නිර්ධ්‍රැවීය වලිගයේ දිග - ෆොස්ෆොලිපිඩ අණුවේ වලිගයේ දිග වැඩිවූ විට තරලමය බව අඩුවේ.ෆොස්ෆොලිපිඩ අණුවේ වලිගයේ දිග අඩුවූ විට තරලමය බව වැඩිවේ.
තරලමය බව අඩු වන විට පටලයේ ද්‍රවාංකය (melting point) (ද්‍රව වීම සදහා ලබා දිය යුතු උෂ්ණත්වය) වැඩිවේ.

8 comments:

Anonymous said...

මේක මේ විධියට විද්‍යාත්මක වෙනවට වඩා කතන්දර ස්වරූපයක් ගත්ත නම් මුකුත් නොදන්න අයටත් කියවන්න ආස හිතෙයි. විද්‍යාත්මක සමීකරණ සහ වචන නැතුව සාමාන්‍ය භාෂාවෙන් සරලව කිව්ව නම් හරි. ඕන අය වැඩිපුර ප්‍රශ්ණ අහයි නේද?

හා පැටික්කි (MS) said...

හා පැටික්කිට මේකත් නම් තේරුනා...... ගඟ ගැඹුරු වෙන වගත් දැනුනා..... :) :(

biologist said...

@ Anonymous
ඒක ඇත්ත තමයි.බොහොම ස්තූතියි

@ හා පැටික්කි
ගඟ තවත් ගැඹුරුයි නංගි.ඒත් බය වෙන්න එපා.ඔයාලගෙන් මෙච්චර බලාපොරොත්තු වෙන්නෑ

biologist said...
This comment has been removed by the author.
හා පැටික්කි (MS) said...

ආවු ආවු.... අයියත් අවුරුද්දට ගෙදර අස්පරස් කරල පාට කරලා ගත්තා එහෙනම්..... දැන්නම් නියමයි..... නමටම ගැලපෙන ගෙදර..... :):)

අපොයි ඔව් අපිට ඕවා තිබ්බොත් ඉවරයි..... අලි මදිවට කොටි වෙයි...... :(

FOX Creationz said...

මටනම් මේවා ‍එච්චර තේරෙන්නෙ නෑ ‍යාලුවේ.. Mathsනෙ කලේ!
ඒත් වැඩේනම් නියමයි! මගෙන් සුභ ‍පැතුම්!!!!

biologist said...

@ Nilushan Rusiяu (ෆොක්ස් Creationz)
ස්තුතියි මචෝ

@ හා පැටික්කි
තවම අස් කරනවා නංගි.බොහොම ස්තුතියි
chemistry & physics වලටත් ගැලපෙන ගැජට් ටිකක් යටින් දැම්මා

Shenya de Silva said...

"මෙම චාලකතාවය රදා පවතින්නේ..." කිව්වේ transverse diffusion එකයි lateral diffusion එකයි දෙකම ද නැත්තන් lateral diffusion එක විතරද ??

Post a Comment

ඔබේ අදහස් මගේ ශක්තියයි

Related Posts with Thumbnails

ආවර්තිතා වගුව

ඒකක පරිවර්තනය

අද කවදාද?

ලෝකය පුරා වේලාවන්